බොඳවූ ඇසින් දුටු විශ්වය


 ✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️

𝗦𝗘𝗗𝗦𝗠𝗼𝗿𝗮 | 𝗠𝘆𝘀𝘁𝗲𝗿𝗶𝗼𝘂𝘀 𝗨𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗲

--------------------------

බොඳවූ ඇසින් දුටු විශ්වය

--------------------------

Article by: Dilan Senuruk

Designed by: Jayani Weerasingha


      ඈත අතීතයේ පටන් ආලෝකයත් සමග ගනුදෙනු කරමින් විශ්වයේ රහස් සොයාගිය මානුෂීය ක්‍රියාන්විතයේ එක් සංධිස්ථානයක් හබල් අභ්‍යවකාශ දුරදක්නය සනිටුහන් කරවීය.


      නිරතුරුව චලනය වෙමින්, ආලෝකයට සෘජුව පෘථිවි තලයට ඒමට ඉඩ නොදෙන වායුගෝලය, විශ්වයේ රහස් රාශියක් එකල මානවයාට වසන් කරන ලදී. මෙලෙස වායුගෝලීය බලපෑම් අභිබවමින් කුහුලෙන් පිරි මිනිසා ඉදිරියට තබන දැවැන්ත පියවරක් වනුයේ අභ්‍යවකාශ නිරීක්ෂණාගාර සංකල්පය කරළියට ගෙන ඒමයි.


      ගැලීලියෝ ගෙන් ඇරඹුණු දුරේක්ෂයේ ආකෘතිය නිව්ටන් යටතේ වැඩි දියුණු වෙමින් තවත් විද්‍යාඥයින්, පර්යේෂකයින් රැසක් හමුවේ නව මුහුණුවර රැසකට හිමිකම් කීමට සමත් වී ඇත. එම දුරේක්ෂ පරිණාමයේ කඩයිමක් ලෙසද හබල් දුරේක්ෂය ගෙනහැර පෑ හැකිය.


      1946 දී ප්‍රථම වරට මිහිතලයෙන් පිටත දුරේක්ෂයක් ගැන අදහස ලයිමන් ස්පිට්සර් (Lyman Spitzer) විසින් ලොවට ඉදිරිපත් කළ අතර 1977 වර්ෂයේදී නාසා ආයතනය හබල් දුරේක්ෂ නිර්මාණ ක්‍රියාවලියේ වැඩ කටයුතු අරඹන ලදී. ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක වෑයමක් වූ හබල් දුරේක්ෂය 1990 වර්ෂයේදී ඩිස්කවරි ෂටල යානය මගින් අභ්‍යවකාශයට ගෙන යන ලද්දේ ලොව ප්‍රථම ප්‍රකාශ අභ්‍යවකාෂ දුරේක්ෂය ලෙසිනි. තම නිරීක්ෂණ කටයුතු ආරම්භ කළ හබල් දුරේක්ෂයට සුවිසල් ගැටළුවකට මුහුණ පෑමට සිදු විය. එනම් ලැබෙන දසුන් අනපේක්ෂිත ලෙස බොඳ වී දිස්වීමයි.


      දුරේක්ෂයේ ප්‍රකාශ අවයවයන්හි ගැටළුවක් තිබුණද පෘථිවිය මත ඇති සියළුම දුරේක්ෂ වලට වඩා ඉතා වැඩි දත්ත ප්‍රමාණයන් සහිත ඉහල මට්ටමේ ඡායාරූප ලබා ගැනීමේ හැකියාව හබල් සතුව පැවතුණි. දෝෂය වූයේ ප්‍රධාන දර්පණයේ අග්‍ර දාරය මිලිමීටර 0.02 ක් අනවශ්‍ය ගැඹුරකට නිර්මාණය වී තිබීමයි.


      හබල්ගේ ප්‍රථම සේවා මෙහෙයුම 1993 වර්ෂයේ ක්‍රියාත්මක වූ අතර විශ්වයේ සොඳුරු දසුන් බොඳ කළ හබල්ගේ ගැටළුව නිවැරදි කිරීම මෙහි ප්‍රථම රාජකාරිය විය. හබල්ගේ දෙවන සේවා මෙහෙයුම 1997 වර්ෂයේදී සිදු විය. තෙවන, සතරවන සහ අවසාන සේවා මෙහෙයුම් පිළිවෙලින් 1999, 2002, 2009 වර්ෂයන්හිදී සිදු විය.


      1992 වර්ෂයේදී, NGC 4261 මන්දාකිණියේ විශාල කළු කුහරයක් සබැඳිව සාක්ෂි සොයාගැනීමද, 1994 වර්ෂයේදී, ෂූමේකර්-ලෙවි 9 (Comet Shoemaker-Levy 9) ධූමකේතුව, බ්‍රහස්පති ග්‍රහයාගේ ඝට්ටනය වීම ඡායාරූප ගත කිරීමද, 1995 වර්ෂයේදී ඊගල් (Eagle) නිහාරිකාවේ තාරකා උපතක් ඡායාරූපකරණය කිරීමද, හබල් දුරේක්ෂය තම මුල් කාලයේදී සිදු කළ විශේෂ ක්‍රියාදාම කිහිපයකි. මේ මොහොත වන විටත් ක්‍රියාත්මකව පවතින හබල් දුරේක්ෂය මෙලෙස 1990 සිට අද දක්වාම මිල කළ නොහැකි සේවයක් නිරීක්ෂණ තාරකා විද්‍යා ක්ෂේත්‍රයට සිදු කර ඇත.


      කැලතී ඇති පිහිනුම් තටාකයක ජලය අතරින් පතුල බලන්නා සේ තරු, ග්‍රහලෝක ඇතුළු ආකාශ වස්තු දෙස බැලූ කාලය නිමා කොට නව යුගයක ආරම්භයක් හබල් දුරේක්ෂය මෙලෙස සලකුණු කරන ලදී.


#HubbleTelescope
#MysteriousUniverse
#ArticleSeries
#SEDSmora
#Year2022

Post a Comment

0 Comments